About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Wednesday, August 29, 2012

වෙලඳ කොන්දේසි හෙවත් Trade Terms



අද කාලෙ ගොඩක් ව්‍යාපාර කටයුතු කෙරෙන්නෙ අපේ රට ඇතුලෙ විතරක් නෙමෙයි. ජාත්‍යන්තරව පැතිරුණු සැපයුම් කරුවො, ගැණුම් කරුවො  ඉන්න ව්‍යාපාරික ලෝකෙක මේ වෙලඳ කොන්දේසි කියන්නෙ මොනවද කියල පොඩි විස්තරයක් සටහන් කරන්නයි මම හදන්නෙ. අපේ සමහර සහෝදර සහෝදරියො ඔය වෙලඳ කොන්දේසි වලට කෙටියෙන් කියන නම් ඇහුවහම කිසිම දෙයක් නොදන්න නිසාත් කොයි දේ වුණත් දැනගෙන හිටියාම පසු කලෙක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසාත් ඔන්න පොඩි සටහනක්. මෙතන විස්තර වෙන්නෙ ගොඩක්ම ජනප්‍රිය ක්‍රම පමණක් නිසා සමහර විට මගෙ අතින් පොඩි පොඩි දේවල් මග ඇරෙන්න පුළුවන්. එහෙම ඔයාල දැක්කොත් කමෙන්ට් එකකින් මාව දැනුවත් කරන්න.


1) භාණ්ඩයේ මිල පමණයි කොන්දේසිය (Ex Works)

භාණ්ඩයක නිෂ්පාදනයට යන වියදම් (අමු ද්‍රව්‍ය, කම්කරු වියදම්) ඒකකයක් වශයෙන් අරගෙන භාණ්ඩයේ මිල තීරණය කරන එක තමයි මේක්‍රමය වෙන්නෙ. එතකොට කිසියම් පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් හෝ අපේම රටේ ඉන්න ගැණුම් කරුවෙක්ට සිදු වෙනවා අපේ ආයතනයේ ගබඩවෙන් (හෝ නම් කරන ලද ස්ථානයකින්) භාණ්ඩ ටික අරන් යන්න. හදිසියේවත් ඒ භාන්ඩ මිළදී ගන්නෙ පිට රටක ඉන්න ගැණුම් කරුවෙක් නම් ඔවුන්ට සිද්ධ වෙනවා නිශ්පාදනය කරපු රට ඇතුලේ සිදු වෙන රේගු කටයුතු තමුන්ගෙ වියදමින් සිදු කරන්න සහ ඒ භාණ්ඩ ලොරියකට/නැවට/ගුවන් යානයට ගාස්තුවත් ගෙවල තමුන්ගෙ අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කරගන්න එක වගේම ගම්නාන්ත බදු සහ රේගු කටයුතු සිද්ධ කරන්නත්.

කොයි දේත් පැති දෙකක් තියෙනවනෙ. අපි ගැණුම්කරුවෙක් විදිහට පිට රටකින් ඒ ක්‍රමය යටතේ භාණ්ඩ ආනයනය කරනවනම් භාණ්ඩයේ මිලට පිටින් සියලුම වියදම් (උඩ සඳහන් කරපු විදිහට) අපි විසින් දැරිය යුතු වෙනවා

මේ ක්‍රමයට ගොඩක් ජාත්‍යන්තර ගැණුම් කරුවො කැමති නැහැ වගේම මේක වැඩිපුරම භාවිතා වෙන්නෙ රටක් ඇතුලෙ වෙලඳ කටයුත්තක් වෙන කොටයි.



2) භාණ්ඩයේ මිල ප්‍රවාහන මාධ්‍යය තෙක් නොමිලේ කොන්දේසිය (Free On Board - FOB)

මේ ක්‍රමය තමයි ගොඩක් පිට රට ගැණුම් කරුවො අපෙන් බඩු ගන්න ක්‍රමය. මෙතනදි වෙන්නෙ භාණ්ඩයක නිෂ්පාදනයට යන වියදම් (අමු ද්‍රව්‍ය, කම්කරු වියදම්) සහ රට ඇතුලේ සිද්ධ වෙන රේගු කටයුතු වලට යන වියදම් ඒකකයක් වශයෙන් අරගෙන භාණ්ඩයේ මිල තීරණය කරන එක. ඉන් පස්සෙ දෙපාර්ශවයම එකඟතාවයකට ඇවිත් ඒ මිලට භාණ්ඩය නිශ්පාදනය කරනවා. නමුත් නිශ්පාදකයගෙ වගකීම තියෙන්නෙ නිම කරපු භාණ්ඩ නැවට හෝ ගුවන් යානයට පටවන තෙක් පමණයි. ඉන් පස්සෙ ඒ භාණ්ඩ වල අයිතිය සහ වගකීම පැවරෙන්නෙ ඒවා මිලට ගන්න පාර්ශවයට. නැව්/ගුවන් යානා ගාස්තු (Freight Charges) ගෙවන්න, ඒ භාණ්ඩ රක්ෂණය කරන්න සහ ගමනාන්තයේ රේගුව හරහා බඩු තමුන්ගෙ ගබඩාවට ගෙනයන එක භාණ්ඩ මිලදී ගන්න පාර්ශවය සිදු කළ යුතුයි.

අපි කිසියම් පිටරට ඉන්න සැපයුම් කරුවෙකුගෙන් මේ ක්‍රමයට කිසියම් භාණ්ඩයක් මිළට ගන්නවනම් එතනදි අපේ චරිතය වෙන්නෙ කලින් අපි ගැණුම් කරුවට විකුණන විට ගැණුම් කරුවගෙ චරිතය. ඒ කියන්නෙ අපි විසින් නැව්/ගුවන් යානා ගාස්තු ගෙවල ඉන් පස්සෙ අපේ රටේදි රේගු කටයුතු සිදු කරල අපේ ගබඩාවට බඩු අරන් එන්න ඕනෙ.

ඔය වගේ වෙලාවල් වල තමයි ඔය ප්‍රවාහන කටයුතු සමාගම් (Freight Forwarders) අපේ පිහිටට එන්නෙ. 

මේ ක්‍රමය නිමි භාණ්ඩ අපනයනයෙදි ගොඩක්ම සැපයුම් කරුවො භාවිතා කරන ක්‍රමයක්.



3) භාණ්ඩයේ වටිනාකම, රේගු කටයුතු සහ ප්‍රවාහණය කොන්දේසිය (Cost & Freight - C&F/CNF)

මෙතනදි වෙන්නෙ අර කලින් සඳහන් කරපු ක්‍රමය (FOB) තවත් විස්තාරණය වීමක් කියන්න පුළුවන් මේ වෙලාවෙදි සැපයුම් කරුවා වශයෙන්  අපි විසින් කලින් ක්‍රමයේ ඔක්කොමත් එක්ක තව ප්‍රවාහන වියදමත් දරන්න වෙනවා (නැවට/ගුවන් යානයට) ඉන් පස්සෙ පාරිභෝගිකයට මිල ගණන් නියම කරන්නෙ මේ සියලුම වියදම් එක් කරලා ගන්න ඒකක මිලකට. භාණ්ඩය ප්‍රවාහනය වෙන කාලය (මුහුදේ/අහසේ) ඇතුලත රක්ෂණය කරගන්න සිද්ධ වෙනවා ගැණුම් කරුවාට. අවශ්‍යනම් රක්ෂණය නොකර වුණත් ගෙන්න ගන්න පුළුවනි (භාණ්ඩයේ වටිනාකම සහ ස්වභාවය අනුව). මේ ක්‍රමය ගැණුම්කරුවාට වාසිදායකයි මොකද ඔවුන්ට තියෙන්නෙ භාණ්ඩ තමුන්ගෙ රටට ලඟා වුණාම රේගු කටයුතු තමුන්ගෙ වියදමින් කරන්න විතරයි.

අපි පාරිභෝගිකයෙකුගෙ ඇහින් බලනකොට මේ ක්‍රමය කලින් කිව්ව ක්‍රම දෙකටම වඩා ලෙහෙසියි. අපට තියෙන්නෙත් අපේ සැපයුම් කරුවා එවන ලියකියවිලි ටික අරගෙන රේගු කටයුතු අපේ වියදමින් කරන්න විතරයි.

මේ ක්‍රමය වැඩි වශයෙන්ම භාවිතා කරන්නෙ නිම නොකළ භාණ්ඩ (උදා - සපත්තු අඩි, රසායන ද්‍රව්‍ය, නිම නොකළ යකඩ හෝ අමු ද්‍රව්‍ය) සැපයුම් කරුවො 



4) භාණ්ඩයේ වටිනාකම, රේගු කටයුතු,රක්ෂණය සහ ප්‍රවාහණය කොන්දේසිය (Cost, Insurance & Freight - CIF)

ඉහත සදහන් වෙච්ච ක්‍රමයට (C&F) තවත් එකතු වෙලා භාණ්ඩ රක්ෂණයත් සැපයුම් කරුවා විසින් සිදු කරන ක්‍රමය තමයි  මෙතනදි විස්තර කෙරෙන්නෙ. ගැණුම්කරුවා විදිහට ඉතාම පහසු සහ ආරක්ෂාකාරී ක්‍රමය තමයි මේ ක්‍රමය. කලින් වගේම තමුන්ගෙ ගමනාන්තයට භාණ්ඩ ලඟා වුණාම රේගු කටයුතු කරල භාණ්ඩ නිදහස් කරගැනීම තමයි කරන්න තියෙන එකම අමාරු දේ.

මේ ක්‍රමයත් වැඩිපුරම භාවිතා වෙන්නෙ නිම නොවූ භාණ්ඩ අනයනය / අපනයන කරන කොටයි



5) ගමනාන්තයේ බදු ගෙවූ කොන්දේසිය (Landed Duty Paid - LDP)

මේ කියන්නෙ භාණ්ඩය නිපදවල මුදල් ගෙවල පිට රටකට ප්‍රවාහණය කරල ඉන් පස්සෙ රේගුවෙන් බදුත් ගෙවල නිදහස් කරගෙන ගැණුම් කරුවා කියන තැනටම/නියම කරගත් තැනකට ගෙනිහින් දෙන එකයි. මෙතනදි ඒකක මිළ සාපේක්ෂව ගොඩක් ඉහල අගයක් ගන්නවා.

අපි ගැණුම්කරුවෙක්නම්. මේ ක්‍රමයෙදි අපිට තියෙන්නෙ සැපයුම්කරුව භාණ්ඩ ටික ලඟටම ගෙනත් දෙනකම් බලා ඉන්න තමයි

මේ වගේ මිලක් නියම වෙන සරලම උදාහරනයක් විදිහට වාහන පෙන්නන්න පුලුවන්. 

මෙතනදි මම පුළුවන් තරම් සරලව විස්තර කරන්නයි උත්සහ කරේ. නොතේරෙන තැනක් තියේනං අහන්න.

කියවල බල ඔයාලගෙ අදහසත් කියලම යන්න.

Tuesday, August 28, 2012

අපෙන් වෙන් වුණු විශිෂ්ටයා නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං



2012 අගෝස්තු 25 වෙනිදා ලෝකෙන් යන්නම ගිය, 1969 ජූලී 20 වෙනිද ලෝකෙටම අමතක නොවෙන අත්දැකීමක් ලබා දුන්නු අපි කවුරුත් දන්න නීල් ආම්ස්ට්‍රෝං ගැන පොඩි විස්තරයක් ලියන්න හිතුණා. 

1930 අගෝස්තු 05 වෙනිදා ඇමරිකාවේ ඔහියෝ වල ජීවත් වුණු විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන් කෝනිග් ආම්ස්ට්‍රෝං සහ වයලා ලුයිස් යුවලට පුතෙක් ලැබෙනවා.නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං විදිහට නම් තැබෙන ඒ පුතාට පසුව තවත් දරු දෙදෙනෙක්ගෙ සුරතල් බලන්නත් මේ යුවල වාසනාවන්ත වෙනවා. රජයේ විගණන පරීක්ෂකවරයෙක් වුණ ස්ටීවන්ගෙ රාජකාරි ජීවිතය නිසා නීල්ට වයස අවුරුදු 15ක් වෙනකොට ඔවුන් ජීවත් වුණේ තමුන් ඒ වෙනකම් එක දිගට වෙනස් කරපු 20 වෙනි නගරයෙ. හැමදාම නගරයෙන් නගරයට යන එක නීල්ට එක අතකින් කරදරයක් වුණත් මුලු ලෝකෙටම බලපාන එක දවසක් උදා වෙන කොට ඒකෙ කොටස් කාරයෙක් වෙන්න නීල්ට පුළුවන් උනේ ගුවන් යානා වලට ඇති උණු ඇල්ම නිසා කිව්වොත් හරි. වයස අවුරුදු 2 වෙනකොට ඔහුගෙ පියා නීල්ව ගුවන් යානා තරඟ බලන්න එක්ක යනවා. ඉන් පස්සෙ තමුන්ගෙ පළමුවෙනි ගුවන් ගමනට නීල් සහභාගි වෙන්නෙ ඔහුට වයස අවුරුදු 6ක් වෙද්දි.

කොහොමින් හරි තමුන්ට අවුරුදු 15ක් වෙද්දි නීල් ගුවන් යානා පැදවීමේ සහතිකය ලබාගන්නෙ රියදුරු බලපත්‍රයක් ගන්නත් කලින්මයි.ඉන් පස්සෙ 1947දී නීල් අහස් ඉංජිනේරු විද්‍යාව (Aerospace Engineering) ඉගෙන ගන්න පටන් ගන්නවා. පසුව කේම්බ්‍රිජ් මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයට ඔහු ඇතුල් වෙන්නෙ විශේෂ ශිෂ්‍යත්වයක් ලබාගෙන, ඒ ශිෂ්‍යත්වයට අනුකූලව   වසර දෙකක අධ්‍යාපනයෙන් පස්සෙ අවුරුදු 3ක් නාවික හමුදාවෙ සේවය කරන්න වෙනවා. ඉන් පස්සෙ තමයි ඊලඟ අවුරුදු දෙක සම්පූර්ණ කරන්න ඉඩ ලැබෙන්නෙ.අන්තිමේ 1950 අගෝස්තු 16 වෙනිදා ආම්ස්ට්‍රෝං සුදුසුකම් ලත් නාවික හමුදා ගුවන් නියමුවෙක් බවට පත් වෙනවා.ඉන් පස්සෙ ඔහු කොරියන් යුද්ධයට තමන්ගෙ සහභාගිත්වය ලබාදෙනවා  1951 අගෝස්තු 29 වෙනිදා. ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ හදිසි අනතුරකින් ගුවන් යානයෙ තටුවකින් අඩි 3ක පමණ කෑල්ලක් කැඩුණත් ඔහු ආරක්ෂිතව මිතුරු ප්‍රදේශ වලට ලඟා වෙනවා.කොරියානු යුද්ධය අවසානයේ නීල් පදක්කම් 4කට හිමිකම් කියමින් කණිටු ලුතිනන් තනතුරකට පත් වෙනවා.කොහොමින් හරි 1960 අවුරුද්දෙදි නීල් නාවික හමුදාවෙන් විශ්‍රාම යනවා.නාවික හමුදාවෙන් පස්සෙ කාලෙක ඔහු පර්යේෂණ ගුවන් නියමුවෙක් විදිහට අපි කවුරුත් දන්න ජනප්‍රිය ගුවන් යානා ගොඩක් පදවපු බවත් සඳහන් වෙලා තියෙනවා.

වසර 3ක නාවික හමුදා සේවයෙන් පස්සෙ නැවත අධ්‍යාපනය සම්පූර්න කරන්න විශ්ව විද්‍යාලෙට යන නීල් 1955 උපාධිය ලබා ගන්නවා. ඉන් පස්සෙ විශ්ව විද්‍යාලෙදිම හමු වෙන ජැනට් එලිසෙබෙත් ෂැරොන් එක්ක 1956 ජනවාරි 28 වෙනිදා විවාහ වෙන නීල් දරුවන් තුන් දෙනෙකුගෙ පියෙක් බවට පත් වෙනවා.නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ එක දරුවෙක් 1962 ජනවාරි 28 වෙනිදා රෝගී තත්වයක් හේතුවෙන් මිය යනවා. පසු කාලීනව නීල් තමුන්ගේ විශාරද උපාධිය දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කරපු බව වාර්තා වෙනවා.


නීල් ආම්ස්ට්‍රෝං ගේ අභ්‍යාවකාශගාමී ජීවිතය පටන් ගන්නෙ 1958 අවුරුද්දෙදි. ඇමෙරිකානු ගුවන් හමුදාවෙන් දියත් කරපු "උඩු ගුවනට මිනිසෙක් යැවීම" කියන වැඩ සටහනට ඔහු සම්බන්ධ වෙනවා, ඉන් පස්සෙ 1962 සැප්තැම්බර් 13 වෙනිද තමයි ඔහු ලෝකෙටම වැදගත් වෙන මිනිසෙක් වෙන්න පාර කැපෙන්නෙ.නාසා ආයතනයෙ අභ්‍යාවකාශගාමි මඩුල්ලට එක් වෙන්න නීල්ට ආරාධනාවක් ලැබෙනවා. ඉන් පස්සෙ 1965 සැප්තැම්බර් 20 වෙනිදා දියත් වුණ ජෙමිනි 8 කියන් වැඩ සටහනේ  අණ දෙන නියමුවෙක් විදිහට නීල් ආම්ස්ට්‍රෝං නම් කෙරුනා.නමුත් ඒ වැඩසටහනේ පුහුණුවීම් වල සිදු වුණ වැරදි නිසා යම් මත භේද වලට ලක් වීමෙන් වැඩසටහන අඩාල වුණා.ඉන් පසුව සාපේක්ෂව සාර්ථක වැඩ සටහනක් වුණු ජෙමිනි 11 1966 සැප්තැම්බර් 12 වෙනිදා දියත් වුණා වගේම ආම්ස්ට්‍රෝං සාර්ථකව එයට සහභාගී වුණා.



ඇපලෝ වැඩසටහන සඳට මිනිසුන් තවත් ළං කළා කිව්වොත් ඒක වැරදි නැහැ. කෙසේ හෝ ඇපලෝ 1න් පටන් ගෙන සඳ වටා කක්ෂ ගත වුණු ඇපලෝ 8 දක්වා මේ පර්යේෂණ වලට දුන්න දායකත්වය සුළුපටු එකක් නෙවෙයි. කොහොමින් හෝ 1969 ජූලි 20 වෙනිදා සඳ මත පා තබපු කණ්ඩායම පිටත් වෙන්නෙ ඇපලෝ 11 යානයෙන්. නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රින් යන තිදෙනා රැගත් යානය පුංචි තාක්ෂණික දෝශත් සහිතවම ඉතිහාසයේ නොමැකෙන දිනයක් සටහන් කළා.

සඳ ගමනින් පස්සෙ ආම්ස්ට්‍රෝං නාසා අභ්‍යාවකාශ අනතුරු පිලිබඳ නිරීක්ෂකයෙක් බවට පත් වෙනවා. 1970 දි සිදු වුණු ඇපලෝ 13 අනතුර වගේම  තමුන් විශ්‍රාම ගියායින් පසුව වුණු 1986 චැලෙන්ජර් ඛේදවාචකයටත් සම්බන්ධ වෙලා වැඩ කරන ඔහු ඒ පරීක්ෂණ වලදි ලොකු කාර්ය භාරයක් ඉටු කරනවා.

1971 වර්ෂයේ නිල් ආම්ස්ට්‍රෝං නාසා ආයතනයෙන් විශ්‍රාම යනවා.ඉන් පසුව බලවත් ඉල්ලීම පිට බොහෝ ආයතන ගනනාවක මාධ්‍ය ප්‍රකාශක තනතුර හොබවන නීල් ආම්ස්ට්‍රෝං තමුන්ගේ අත්සනේ වටිනාකම සහ සමහරුන් විසින් ඔහුගේ හොර අත්සන් විකිණිම නිසා සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම දෙවෙනි වතාවටත් කැරොල් නයිට් සමග 1994 ජූනි 12 වෙනිදා විවාහ වෙනවා.

අවසානයේ බොහොම දුක්ඛ දායක විදිහට ඔහු අපෙන් සමු ගන්නෙ හදවතේ නහර සම්බන්ධ සැත්කමකට මුහුණ දීල (2012 අගෝස්තු 7) එයින් ඇතිවූ ව්‍යාකූලතා නිසා කියලයි වාර්තා සඳහන් කරන්නෙ.ඇමරිකානු ජනපති ඇතුළු විශාල පිරිසක් ඔහුගෙ අභාවය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළා.

මේ සාරාංශයක් පමණයි.මට විස්තර හොයාගන්න විකිපීඩියා ඇතුළු ගොඩක් පිටු ප්‍රයෝජනවත් වුණා.


බලලා හොඳ නරක කියල ගියොත් බොහොම අගය කරනවා.....

Saturday, August 25, 2012

පරණ එකට ආපහු



අද උදේ අපේ යාලුවෙක් එක්ක දාපු චැට් එකක ප්‍රතිඵලයක් විදිහට ඔන්න මට පුලුවං උනා ආපහු පරණ බ්ලොගිය ඇරගන්න.

මට ඒකට උදව් කරපු යාලුවා තමයි අපේ ගෙහාන් චන්දික නොහොත් කෝච්චියා. බොහොම ස්තූතියි මචං උදව්වට.

පරණ එක පැත්තෙ එන්න ඇවිත් යන්න

Friday, August 24, 2012

හොඳ කළමනාකරුවෙකුගේ ලක්ෂණ…




වල් පල් නොලියා වැඩක් ඇති දෙයක් ලියන්න හිතුවා. මගෙ නිර්මාණයක් නෙමෙයි මේක. ඔය කාටත් යන්න පුළුවන් අන්තර්ජාලෙ කතෘ කෙනෙක් නැතිව තියෙන ලියුම් වලිං එක්කහු කරගත්තු දේවල්. සිංහලෙන් කියවන කාට හරි ප්‍රයෝජනවත් වෙන්න මං සිංහලෙන්ම ලිව්වා. මගෙ අත්දැකීමුත් 30%ක් විතර ඇති මෙතන.


ව්‍යාපාරයක මූලික අරමුණ වෙන්නෙ පාරිභෝගිකයින් තමුන්ගේ ව්‍යාපාරයට ඇති ඇල්ම එකම මට්ටමක රඳවාගැනීම හෝ තව්ත් වැඩි දියුණු කර ගැනීම. එක අතකින් බැලුවොත් පාරිභෝගිකයින්ගෙ හදවත් වලට කතා කිරීම. ව්‍යාපාරයක රඳා පැවැත්මෙ තව කණුවක් වෙන්නෙ ව්‍යාපාරයෙ එදිනෙදා කටයුතු වලට කෙලින්ම සම්බන්ධ වෙන සේවකයින්. සේවකයින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කළමනාකරන සේවකයින් (Team Leaders ,Supervisors ,Managers)  සහ කළමණාකරන නොවන සේවකයින් විදිහට. කළමණාකරන සේවකයන් තමයි වක්‍රව කිසියම් ව‍යාපාරයක නැග්ම හෝ බැස්ම තීරණය කරන සාධකය. හොඳ කළමණාකරුවෙක් අපිට සමාන කරන්න පුළුවන් හොඳ මෝටර් රථ ක්‍රීඩකයෙකුට. මෝටර් රථයෙ තියෙන අශ්ව බල ප්‍රමාණය, ගියර් අනුපාත, තිරිංග පද්ධතිය වගේ දේවල් ගැන කාලයත් එක්ක අත්දැකීම් ලබාගෙන, තමන් වාහනය පදවන පාරෙ තත්වය එක්ක ඒ හැම දේම හරි විදිහට සංකලනය කරනව වගේ, තමුන්ගෙ සේවකයින්ගෙ හොඳ, නරක සහ රුචි අරුචිකම් හොඳට තේරුම් අරගෙන එදිනෙදා කටයුතු වලදි සහ අවස්ථානුකූලව සංකලනය කිරීම තමයි කෙටියෙන්ම කළමණාකරුවෙකුගෙ කාර්ය භාරය. (ගොඩක් අය කියන්නෙ මැනේජරය නිකං පුටුවෙ වාඩි වෙලා ඉඳං අපි හැමදාම කරන වැඩ කරාද කියල අහනවා කියලා. නෑ ඔයාල වැරදියි. සමහර වෙලාවට භෞතිකව පේන වැඩක් නොකළා වුණත් කළමණාකරුවෙකුගෙ කටින් තප්පරයකින් පිට වෙන එක තීරණයකින් ව්‍යාපාරයක් වැහෙන්න උනත් පුළුවන්. මතක තියාගන්න). අනිත් එක මොන අංශයක වුණත් කලමණාකරුවෙක් කියන්නෙ පාරිභෝගික සේවා නිලධාරියෙක්ට සමාන කරන්න පුළුවන්. මොකද තමුන්ගෙ සේවකයින් නැමති පාරිභෝගිකයන්ගෙ හිත් වලට කතා කරල ඔවුන්ගෙන් ආයතනයට ලැබෙන දායකත්වය වැඩි දියුණු කරන නිසා.


කළමණාකරුවෙක් වෙන්න සිහින මවන අපේ අයට මේව යම් දවසක ප්‍රයෝජනවත් වෙයි. කියවල හිතට ගන්න. තමුං කළමණාකරුවෙක් නොවුනත් තමන්ට රැකියාවෙදි අදාල කරගන්න පුළුවනිනම් කරන්න. සමහර විට ඒ දේවල් තමුන්ට උදව්වක් වෙන්න පුළුවං ඉදිරි ගමනට.

1)    තරුවක් වෙන්න යන්න එපා තරු හදන්න

ලකුණු දා ගැනීම, කොහෙත් තියෙන ජරා පුරුද්දක්. ඔබ කළමණාකරුවෙක් වුණේ ඔන්න ඔය දේ හොඳින් පාවිච්චි කරලනම් මේක කියවන එක මෙතනින්ම නවත්තන්න. ඔබේ තනතුර අවදානම් තත්වෙක මේ දියුණු වෙන ලෝකෙ. එහෙම නෙමෙයිනම් මෙන්න කියවගෙන යන්න…..

ඕබ කළමණාකරුවෙක් වුණේ ඔබ තරුවක් නිසා, ආපහු ඇයි තරුවක් වෙන්න යන්නෙ. අලුත් තරු හදන්න. ලිපිකාරයො ඉන්න කාර්යාලෙක ලිපිකාරයො ගොඩකට උඩින් ඉන්න පුළුවන් ප්‍රධාන ලිපිකරුවෙකුට. ඔබේ පහල මට්ටමේ ඉන්න ඔක්කොම කාර්ය මණ්ඩලය හැමදාමත් ලිපිකාරයොනම් ඔබ හැමදාටම ප්‍රධාන ලිපිකරුවෙක් වෙලා ඉඳියි. ඔබට පුළුවනිනම් තවත් ඔබේ අඩුපාඩුව පුරවන සගයන් ඔබේ කාර්ය මණ්ඩලය ඇතුලෙන් හදන්න ආයතන ප්‍රධානියො ඔබව අලුත් ඉහළ තනතුරකට පත් කරයි. උදාහරනයක් විදිහට සරලම එක මෙන්න.

කරලම බලන්න……………


2)    ආයතනයේ ව්‍යාපාර සංකල්පය අවබෝධ කර ගැනීම සහ පවත්වාගෙන යාම

හැම ආයතනයකම ව්‍යාපාර සංකල්පයක් කියන දේ තියෙනවා. ආයතනයේ පාලනාධිකාරිය ගෙනාපු ඒ සංකල්පය තමයි ආයතනය අද නෙමෙයි තව අවුරුදු ගනනවකින් ඉන්න තැන තීරණය කරන්නෙ. කළමණාකරුවෙකුගෙ ලක්ෂණයක් තමයි ඒ ව්‍යාපාර සංකල්පය කියන දේ අවබෝධ කර ගැනීම. ඒ එක්කම තමුන් ස්වයං අධ්‍යයනයක් කරලා තමන් විසින් තීරනයකට එන්න ඕනෙ මේ මට යන්න ඕනෙ තැනද කියලා. එහෙමනම් තමුන්ගෙ කාර්ය මණ්ඩලයටත් ආයතනයෙ සංකල්පය අවබෝධ කරවලා ඒ අනාගත ඉලක්කයට යන එක .

එහෙම නෙමෙයිනම් ඉතිං මං කියන්නත් ඕනෙද J


3)    තමුන්ගේ පුද්ගලික විලාශය ව්‍යාපාරයට වක්‍රව බලපාන බව අවබෝධ කරගෙන කටයුතු කිරීම

First impression is the last impression කියල කවුදෝ කිව්වලුනෙ.

පෘතග්ජන මිනිස්සු එහෙමයි. බැලු බැල්මට පෙනෙන දේ තමුන්ගෙ මනසට දෙන පණිවුඩේ සම්හර විට ජීවිත කලයක් යන තුරුම වෙනස් වෙන්නෙ නැහැ. ඔබව වෙනත් කෙනෙකුගෙ ඇසට වැටෙන විදිහ අනුව ඔවුන් තීරණය කරනවා ඔබට ඇති වටිනාකමක්. ඒ දේ අවාසනාවට ඔබේම උසස් නිලධාරිය අතින් වුනොත්? (මළ කෙලියයි) ඒ නිසා තමුන්ට හැකි හැම වෙලාවෙම පහළ තියෙන දේවල් අනිත් අයට වඩා වෙනස් විදියකට කරන්න අද ඉඳන්ම පුරුදු වුනොත් පහු කාලෙක ප්‍රයොජනයක් තියෙයි.

  • ආචාර ධර්ම සහ අන් අය සමග කටයුතු කරන ආකාරය
  • බාහිර පෙනුම (මේකනම් සමහර වෙලාවට අපිට වෙනස් කරගන්න අමාරුයි ඒත් අනිත් දේවල් වලින් අපිට පුළුවන් මේක පාලනය කරගන්න)
  • ඇදුම් පැලඳුම්
  • තමුන්ගෙ වැඩ කිරීමේ ශයිලිය (ස්ටයිල් එක කියන්නෙ) මගින් අනිත් අයට දැනෙන ශක්තිමත් භාව්ය
  • ශබ්දකෝෂය (හැමෝම පාවිච්චි නොකරන ව්චන පාවිච්චි කරන අය දිහා කවුරුත් එක පාරට බලනව දැකල ඇතිනෙ, හැබැයි විහිලුවක් නොවන තාක් දුරකට හොඳේ)

පුංචි දේවල් ටිකක් නමුත් ලොකු වෙනසක් එකතු කරන්න පුලුවන් තමුන්ගෙ පැවැත්මට සහ ව්‍යාපාරයේ පැවැත්මට.


4)    නායකත්වය යනු බලය නොව ආභාෂය බව තේරුම් ගැනීම

දවසින් දවස දියුණු වෙන ලෝකයේ තවදුරටත් වැඩවසම කියන්නෙ මිථ්‍යාවක් කියල අපි කාටත් තේරෙනවා. බලය පාවිච්චි කරලා තමුන්ගෙ කාර්ය මණ්ඩලය පාලනය කරන කළමණාකරුවෙකුගෙ ආයුෂ සෑහෙන්නම අඩුයි අද ලෝකෙ (ඉස්සර එහෙම තියෙන්න ඇති). ඒකට තියෙන හොඳම විසඳුම තමයි දැන් ගොඩක් කළමනාකරුවො ප්‍රායෝගිකව අනුගමනය කරන තමුන්ගෙ ආභාෂය කාර්ය මණ්ඩලයට දෙන ගමන්ම තමුන්ගෙ ක්‍රියා පටිපාටියට කොච්චර දුරට සේවකයන්ගෙ කාර්‍යක්ෂමතාවය බලපානවද කියලා විවෘතව සාකච්චා කරන එක. සමහරු කියන්නෙ “මේ මනුස්සයනම් ඉපදිලා තියෙන්නෙම මැනේජර් කෙනෙක් වෙන්න” කියලා, අන්න ඒ වගේ අය තමයි මේ පිළිවෙල හරියටම අනුගමනය කරන අය.
බලන්න ඔයාලටත් පුළුවනිද කියලා…..


5)    වෙනස/ අලුත් දේවල් සමග වැඩ කිරීම

ලෝකෙ කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ගෙ හිත් වලින් තාම දුරස් වෙලා නැති දෙයක් තමයි වෙනසට/අලුත් දේවල් ගැන තියෙන උදාසීන හැඟීම සහ අස්ථාන බය.

“මේ කරගෙන ආපු විදිහ නැතුව මොන මගුලක් කරන්න යනවද මන්ද මේ යක්කු අලුතෙන් සිස්ටම් කිය කියා”

“මාව මෙතනින් වෙනස් කරන්නෙ ගෙදර යවන්නද දන්නෙ නෑ”

“මගෙ වැඩ වලින් බාගයක් අරූට දෙන්නෙ තව මාස කීපෙකින් මට අයින් වෙන්න වෙයිද දන්නෙ නෑ”

සේවා ස්ථානෙ වෙනසක් වෙනකොට ඔය වගේ හිතපු අය අපි අතරෙ ගොඩක් ඇති. ඉතිං ඔය වගේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරන්න බැරි ප්‍රශ්න වලදි අපි බලෙන් දෙයක් මිනිස්සුන්ගෙ ඇඟේ ගහනව කියන්නෙ තියෙන කාර්යක්ෂමතාවය 50%ටත් අඩුවෙන්න පුළුවන් තරම් බලවත් දෙයක්. ඒක නිසා වෙනසක් කරනවනම් තමුන්ගෙ තනි මතේට වැඩ නොකර, මුලින්ම තමුන්ගෙ කර්ය මණ්ඩලය දැනුවත් කරන්න. ඔවුන්ගෙ අදහස් ගන්න. සමහර විට අපේ සේවකයෙක් ලඟ වෙනසකට අපිටත් වඩා හොඳ අදහස් තියෙන්න පුළුවනි (ඒ වගේ අය තමා අනාගත කළමණාකරුවො වෙන්නෙත්). මමත් පුද්ගලිකව අත්විඳපු දෙයක් තමයි වෙනසක් කරන වෙලාවට අනිත් කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරල කරන අලුත් වෙනස් කම් හැම තිස්සෙම සාර්ථක වෙන බව.


6)    ආයතනික ප්‍රතිපත්ති

ඇත්තටම කියනවනම් මමත් කැමති නෑ මම වැඩ කරපු සමහර ආයතන වල ප්‍රතිපත්ති වලට. අපි කවුරුත් මිනිස්සුනෙ. නමුත් ආයතනික ප්‍රතිපර්ත්තියක් කියන්නෙ සමූහයක් එකම විදිහට වැඩ කරන්න දෙන අත්වැලක් මිසක් දණ්ඩ නීති සංග්‍රහයක් නෙමෙයි කියන එක මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ දේ අපේ කාර්ය මණ්ඩලයට තේරුම් කරල දෙන්නත් ඕනෙ. මොකද කොයි දේ මැන්නත් හිතේ තියෙන සතුට සහ කාර්‍‍යක්ෂමතාවය අතර තියෙන අනුලෝමව සමානුපාතික බව මනින මිම්මක් තාම හොයාගෙන නැති නිසා.


7)    සාර්ථකත්වයේ රහස

සාර්ථකත්වයට පුද්ගලයෙකුගෙ හැකියාව සහ වැඩ කරන ක්‍රමවේදයන් යම් තරමක් දුරට බලපානවා. නමුත් සර්ථකත්වය කියන දේට සෘජුවම බලපාන්නෙ ඒ දේවල් නෙවෙයි. අන්න ඒකයි හේතුව සමහර උපාධිධාරියො රු 50,000 ක පඩියක් ගනිද්දි උපාධියක් නැතිව උනත් මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන උපාධියක් නැති පුද්ගලයෙක් ර්ය් 150,000ක පඩියක් , කාර් එකක් ඇතුලුව ගොඩක් වරප්‍රසාද ලබන්නෙ. (බොරුනං බලන්න ලංකාවෙම පොඩ්ඩක් හොයල)
සාර්ථකත්වය කෙලින්ම තීරණය වෙන්නෙ වැඩකට තමුන්ගෙ හිතේ තියෙන ආසාව වගේම තමන් කොච්චර කැපකිරීමක් ඒ රස්සාව වෙනුවෙන් කරනවද කියන එක. ඉතිං ඒක තමුන් අත්හ්දා බලලා තමුන්ගෙ කාර්ය මණ්ඩලේටත් කියල දුන්නනම් උදාහරණ එක්කම, ඔය තියෙන්නෙ සාර්ථකත්වය කකුල් දෙක ලඟම.


8)    තොරතුරු හුවමාරුව සහ තොරතුරු තාක්ෂණය භාවිතය

තොරතුරු තාක්ෂණය ගැන මේ බ්ලොගට ගොඩ වෙලා මේ ලිපිය කියවන ඕගොල්ලන්ට කිව්වොත් ඒක දවසේ විහිළුව වෙයි. නමුත් තොරතුරු හුවමාරුව සහ අදාල පුද්ගලයින් (Information Looping) කියන දේ නම් කියන්නම ඕනෙ.අපි ලඟ තොරතුරු තියං ඉඳගෙන ඉඳල අපි අල තම්බන්නද? ඒ තොරතුරු අදල පුද්ගලයන්ට ලැබෙන්න ඕනෙ.
ඉතාමත් සරලම උදාහරණයක් - ඔයාලගෙ ගබඩාවෙන් වෙන ආයතනයකට බඩු වගයක් යවන්න ඕනෙ. ඒ තොරතුර වැදගත් වෙන්නෙ ගබඩාවෙ භාරකාරයට මිසක් පහල තට්ටුවෙ ඉන්න පිළිගැනීමේ නිලධාරී නංගිට (හිනාවක් ගියා නේ…) නෙමෙයිනෙ.
තාමත් අපේ අය කරන වැරැද්දක් තමයි විද්‍යුත් තැපෑලක් ආවහම හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝටම පිළිතුරු දෙන බොත්තම ඔබල කොටල යවල දානවා. එහෙම කරන්න කලින් පණිවුඩේ තියෙන වැදගත් කම ගැන පොඩ්ඩක් හිතන්න. ලොකු පිරිසක් කළමණාකරනයෙදි මේ දේ හරිම වැදගත්.


9)    කළමණාකරණය

සමහර කළමණාකරුවො ඉන්නවා පුද්ගලිකවම හොයල බලනවා පොඩිම පොඩි කටයුතුත් දවසේ වෙන (උදා - පාර්සලයක් යවනවා පරිභෝගිකයෙකුට. ඒ යවන එක පවා ඔහු දැනුවත් වෙන්න ඕනෙ, දැන් පාර්සලේ කොහෙද, කවුද අරන් යන්නෙ, අරන් යන කෙනාගෙ ජංගම දුරකතන අංකය  බ්ලාහ් බ්ලාහ්..). මේන්න මේ මනුස්සයට පවුල් ජීවිතයක්, සමාජ ජීවිතයක් නැහැ වගේම ඔහුගෙ කාර්ය මණ්ඩලයෙන් වැඩි හරියක් ඔහුට කැමතිත් නැහැ. ඇයි????
මුලින්ම, ඔහුට බෑ තමන්ගෙ දවසේ වැඩ කළමණාකරනය කර ගන්න. තමුන්ගෙ වැඩ වගේම අනුන්ගෙ වැඩත් කරන්න යන එක නිසා. දවසෙ වැඩ කළමණාකරනය කරන්න බැරි මනුස්සය රෑ වෙනකම් වඩ කරන එක අහන්නත් දෙයක්ද? රෑ වෙනකම් වැඩ කරන මනුස්සයෙක්ට කොහෙද වෙලාවක් තමුන්ගෙ පවුලෙ අය එක්ක සතුටින් හිනා වෙලා එකට ඉන්න වෙලාවක්. වැඩ ඇරිල යන වෙලාවට යාලුවොත් ඔක්කොම නින්දට ගිහින්. අර කලින් කියපු ඒවගෙන් ගොඩක්ම හරි නේද?
එතකොට කාර්ය මණ්ඩලේ කතාව? තමුන් හරියාකාරව වගකීමකින් කරන තමුන්ට අදාල පොඩි දේටත් ඇඟිලි ගහන ලොක්කෙකුට කවුද කැමති??
කාර්යමණ්ඩලයව විශ්වාස කරන බව ඒ අයට තේරුනාම ඔවුන්ගෙ යම්කිසි වැඩකට තියෙන ආසාව වැඩි වෙනව වගේම  ඔවුන් මෙහෙමත් හිතනවා (ලොක්ක මට දුන්න වැඩේ කරාද කියල නිකම්වත් ඇහුවෙ නෑ. පොරට මාව ඒ තරමට විශ්වාසයි. ඊ ලඟ පාර මීටත් හොඳින් කරන්න බලන්න ඕනෙ). හිතල බලන්න. පොඩි දේවල් නමුත් ගොඩක් වටිනවා


කියවල හිතට එන අදහසක් ලියල ගියොත් මට ගොඩාක් වටිනවා යාළුවනේ.

ආයුබෝවන්


ආයුබෝවන්






ආපහු බ්ලොග් කෙරුවාවට අත ගහන්න හිතුනා. අළුත් ජොබකට සෙට් වෙලා ඉන්න ගමං මුල් දවස් ටිකේ හැමදාම වෙන විදිහට වෙලාවෙ පොඩි ඉතුරුවක් ආවා. නිකං කාලෙ නොකා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කරන්න හිතුන නිසා ඔන්න ආපහු ලියන්න ගත්තා.

මීට
අලුත් කොල්ලා