About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Tuesday, April 25, 2017

මෝ ප්ලෙසර්.........

අපෙ හිතවතෙක්ට සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් තමයි මේ.........


මේ කියන හිතවතා නිවාඩු කාලේ ගියා පොඩි සංචාරයක්. මිනිහ කාණ්ඩ වශයෙන් වගේම තනියෙනුත් එහෙ මෙහෙ යන සංචාරයට ලැදි පොරක් කියල කියමුකො. මේ පාර පොර සල්ලි ටිකක් එහෙම වැඩිපුර එක්කහු කරගෙන ගියෙ පිට රටක ඇවිදල එන්න. "හහ් හැමදාම ලංකාව වටේ කැරකිලා මක් කරන්නෙයි, මේ පාර යනෝ පිට" කියල හිතල තමයිලු ඉතිං ගියේ.

අවුරුදු කාලෙ නිසා තනියෙංමලු මිනිහ ගියේ (අනික් මිනිස්සු ඉතිං ගම් බිම් වල යනවයි ෂොපිං කරනවයිනේ ඔය කාලෙ). ඔහොම ඉතිං ඇවිදින අතරෙ මෙයා ඒ රටේ මිනිස්සු එක්ක පොටෝ ගහනවයි එක එක අලුත් කෑම ජාති රස විදලා ඒවයේ හොද නරක බලන එකයි වගේ දේවල් තමයි කරේ. නමුත් ඉතිං මෙයත් මනුස්සයෙක් නෙව, ඔන්න ඉතිං පොඩි ආසාවක් ආවා මේ රටේ ඉන්න ගෑණු ළමිස්සියො ගැනත් පොඩි සමීක්ෂණයක් වගේ එකක් කරන්න.

ඒ වගේ වැඩකට කියාපු දේ තමයි ඉතිං ඊටම අදාල තැනකට යන එක කියලා මිනිහා ගියා සම්බාහන මධ්‍යස්ථානයකට (අපි අර ඇඟ තලන එහෙමත් නැත්තං මසාජ් ක්ලිනික්, ඔව්වොව් ඒක තමා) ගිහින් ඉතිං සල්ලි එහෙම ගෙවලා තෝරගත්තා තමුන්ගෙ මනාපෙට හරි යන ගෑණු ළමයෙකුත්. අපි සුද්දො යටතෙ ඉදලා ඉංග්‍රීසියෙ කප් ගහපු ජාතියක් නෙව. ඒත් ඉතිං පිට රටකට ගියාම අපේ අයට එන ලොකුම ප්‍රස්නෙ තමා අපෙ ඉංග්‍රීසි උන්ට තේරෙනව අඩුයි, උංගෙ ඉංග්‍රීසි (උන්ට අපිට වගේ බෑ ඉතිං) අපිට තේරෙනව අඩුයි. කොහොම හරි මේ නොගැලපීම බැලන්ස් කරගෙන මෙයා අර ළමය එක්ක පොඩි අදහස් හුවමාරුවක් කරගත්තා.

කියන්න දෙයක් නෑනෙ ඉතිං ඇඟ තලනකොට අපේ හිරි ඇරිලා පොඩි කිචි ගතියක් එන වෙලාවක් තියෙනවනේ, ඔන්න ඔය හරියටම එනකොට අර ළමය අපේ මනුස්සයගෙන් අහනවලු......

"සර්.. ඩූ යූ වෝන්ට් මෝ ප්ලෙසර්??"

කියලා. ප්ලෙෂර් (pleasure) කියන්නෙ ඉතිං සන්තෝසෙටනේ මෙයාට එක පාර කෙළ ගිලෙන එකත් නැවතුනා කියල තමයි කිව්වෙ. යකෝ ඉබ්බ ගේ දොරකඩ ඇවිල්ලා මාව කාපිය කියනකොට මොන මෝඩයද ඉබ්බව මරල උයලා කන්නෙ නැත්තෙ, ඔන්න ඔහෙ හා කියනවා කියලා මෙයත් ඉතිං කිව්වලු .. "යෑස් යෑස්.. වයි නොට්" කියලා.

දැං මෑන්ගෙ හුස්ම ගැනීමේ වේගය පවා වැඩි වෙලා ටිකක් නොසංසුන් වෙලාලු ඉන්නේ. ඒ ඉන්නකොට අර ගෑණු ළමය කිව්වලු හිටපු තැනින් බිමට බැහැලා එන්න කියලා. "ආ.. අර දොරේ තියෙන වීදුරු කෑල්ලෙන් පෙනෙයි කියල මේ ළමය බය වෙලා වෙන්නැති" කියල හිතපු අපේ හිතවතා බැස්සලු එතනින් බිමට.

බිමට බැහැපු ගමන් වුණ දේ මෙතන කියන එක හරිද මන්දා.

...........................................................................................................................................
























අර කෙල්ල මුගෙ පිට උඩ නැගලා පීඩනය ගොඩක් වැඩි කරලා මසාජ් කරන්න ගත්තලු.

කෙල්ල මෙයාගෙන් අහලා තියෙන්නෙ "Do you want more Pressure?" කියල නේ.

Monday, April 10, 2017

ඇටය සහ අවංක කම



හම්මේ කාලයක් ගොහිං......................... 

බ්ලොගේ මකුළු දැල් බැදිලා අත් ඇරලා දාලා තිබ්බෙ. නිවාඩුව පටන් ගන්නෙ හෙට නිසා අදත් ඔෆිස් එන්න උනා. ඉන්න ගමන් බ්ලොග් එකක ලිපියක් කියෙව්වා. ඒක කියෝපු ගමන් ආපහු ලිව්වොත් මොකෝ කියලා විදුලියක් කොටනවා වගේ ඔළුවට ආවා. ලියන්න දෙයක් හිතුනෙ නැති නිසා ජාලෙන් හොයාගෙන හරි ලියන්න හිතුවා. ඕං කථාව...



කලිං කථාව දන්නා කට්ටිය ඉන්නවනං තරහ අවසර,...

එක ආයතනයක හිමි කාරයා වයස වැඩි වෙන කොට තීරණය කරා තමන්ට දැන් මේ තරම් වෙහෙස වෙලා වැඩ කරන්න හැකියාව තව ටික දවසකින්ම ඉවර වෙන නිසා ආයතනයේ කළමණාකාරිත්වය සුදුසු කෙනෙකුට භාර දෙන්නට ඕනෑ කියලා. නමුත් අවාසනාවට ඒ මනුස්සයාට උරුමක්කාරයෙක් හිටියේ නැහැ.

ඊලඟ ඉතාම සුදුසු තීරණය වුණේ ආයතනයේ දැනට වැඩ කරන තරුණ විධායක නිලධාරින්ගෙන් සුදුසුම කෙනා තෝරලා ඒ තනතුරේ වගකීම භාර දෙන එකයි. ඉතින් සියලුම විධායකයන්ව රෑස්වීම් කාමරයට රැස් කරපු මේ ආයතනයේ අයිති කාරයා මෙන්න මෙහෙම කිව්වා.

"මම ඔය සෑම දෙනෙක්ටම ඇටයක් (ශාක බීජයක්) ගණනේ දෙනවා. ඔය කවුරුත් ඒ ඇටය ගෙදර ගෙනිහින් පෝච්චියක දාලා තමන්ගෙ ලොකුම රාජකාරියක් විදියට සලකලා සාත්තු කරන්න ඕනේ. අවුරුද්දකින් ඔය හැමෝම ඒ පෝච්චිය මට ගෙනත් පෙන්නන්න ඕනේ. ඒ පෝච්චි පරීක්ෂා කරලා මම ගන්න තීරණය මත මේ ආයතනයේ ප්‍රධාන විධායකයා වෙන්නෙ කවුද කියන එක තීරණය වෙයි"

 රුවන් කියන්නෙ මෙතැනට අලුතින් පත් වුණු වැඩට උනන්දු බොහොම අවංක විධායක ශ්‍රේණියේ සේවකයෙක්. රුවනුත් අනික් හැමෝම වගේ තමුන්ට ලැබුණු ඇටය පෝච්චියක දාලා දිනපතාම සාත්තු කලා. සතියක් ගෙවුණා, මාසයක් ගෙවුණා, ඒත් රුවන් පැළ කරපු පෝච්චියේ කිසිම ගහක් මතු වුණේ නෑ. රුවන් හිතුවා මට සමහර විට ලැබෙන්න ඇත්තේ කල් ගිහින් පැළ වෙන ඇටයක් වෙන්න ඇති නමුත් සාත්තු කරන එක නවත්තන්න හොද නෑ කියලා.

ඊලඟ මාසෙ වෙනකොට අනිත් විධායකයෝ හෑම තිස්සෙම කතා කරන්න පටන් ගන්නේ තමුන්ට ලැබුණු පැල තමුන් කොච්චර ලස්සන පෝච්චියක පැල කරාද, දෑන් පැලේ උස කොච්චරද, මල් එන්න කල් යයිද වගේ දේවල් උනත් රුවන්ට තිබුණු ගැටළුව උනේ ඇයි මගෙ ඇටේ පැළ උනේ නැත්තෙ කියන එකම විතරයි.

ඔහොම කාලය ගෙවුණා. මාස 11ක් ම ගතවුණා. රුවන්ට දැන් කාර්යාලයට යන හැම තිස්සෙම ඇහෙන්නෙ අනික් අය වර්ණනා කරන පැල වල ලස්සන සහ ඒවගෙ මල් පිපිල ලස්සනට තියෙන විදිහ. රුවන්ට දැන් තමන් ගැන හීනමානයක් වගේම රස්සාව එපා වෙන මට්ටමකටත් ඇවිත්. නමුත් රුවන් කිසි දවසක පෝච්චියට වතුර පෝර දාන එක මග ඇරියෙ නෑ. ඔහොම කල්  ගත වෙලා හැමෝගෙම පෝච්චි පරික්ෂා කරන දවස ආවා. රුවන්ගෙ හිතට වද දුන්නෙ, "මම කවදාවත් ප්‍රධාන විධායක වෙන්නෙ නෑ නමුත් හිස් පෝච්චියක් උස්සන් ගිහින් හැමෝම මාව පරාජිතයෙක් ගානට දාල හිතයිද" කියන දෙගිඩියාව.

රෑ තිස්සෙම නින්දක් නැතිව කල්පනා කරපු රුවන් අන්තිමට තීරණය කරා හිස් පෝච්චිය අරන් ගිහින් ප්‍රධානියාට පෙන්නලා ඇත්තම කියන්න. එයාගේ අදක්ෂතාවය නිසා මේ ඇටය හරියට පැළ කරගන්න නොහැකි වුණා කියන ඇත්ත  තමුන්ගෙ ප්‍රධානියාට කියනවා කියලා.

රැස්වීම පටන් ගත්තා. හැමෝම ලස්සන ලස්සන මල් පිපුණු, ගෙඩි හැදුණු පැල එක්ක පෝච්චි ගොඩක් ප්‍රධානියාට පේන්න තමුන් ඉස්සරහ තියාගෙන පේලියට හිටියා. රුවන්ගෙ හිස් පෝච්චිය දැකපු ගොඩ දෙනෙක් හිණා වුණා, කීප දෙනෙක් අනුකම්පාවෙන් රුවන් දිහා බලාගෙන ඉන්නවා රුවන්ට පෙණුනා. කවුරුත් අමාරුවෙන් ගෙවාගත්ත විනාඩි 20කට පස්සෙ ආයතනයේ ප්‍රධානියා කට්ටියට මෙන්න මෙහෙම කිව්වා...

" ෂා මම කාලෙකින් දැක්ක ලස්සන ගස් වර්ග ගොඩක් මේ කාමරේ තියෙනවා... අද ඔය මහත්වරුන්ගෙන් කෙනෙක් මම ප්‍රධාන විධායක තනතුරට පත් කරනවා. ඒක සිද්ධ වෙන්නේ....... කියනකොටම එයා දැක්කා හිස් පෝච්චිය ලඟ ලෑජ්ජාවෙන් ඇඹරෙමින් හිටපු රුවන්ව.. "රුවන් එන්න ඉස්සරහට, ඔයාගෙ ඔය පෝච්චියත් අරන්ම මෙතනට එන්න" කියමින් ඔහු රුවන්ව ඉස්සරහටම ගෙන්න ගත්තා. රුවන් දෙගිඩියාවෙන් ඉස්සරහට වෙලා ඉන්න ගමන් කල්පනා කළේ තමන්ගෙ දැන් තියෙන රැකියාවටත් මොකක් හරි අසුබ දෙයක් වෙයිද කියන එකයි. ප්‍රධානියා ආපහු තමන්ගෙ කතාව පටන් ගත්තා.

"ඔය හැමෝම වාඩි වෙන්න. රුවන් ඔහොමම හිටගෙන ඉන්න" කියමින් ප්‍රධානියා කියන කොටම රුවන් තමුන්ගෙ රැකියාව ගැන තිබුණ අදහස කුණු කූඩෙටම දැම්මා. "මෙන්න මහත්වරුණි පිළිගන්න ඔබ සැමගේ නව ප්‍රධාන විධායක නිලධාරී තුමා තමයි....... රුවන්"

මේක අහපු රුවන්ට ඇස් කන් අදහාගන්න බැරි වුණා. ඔහු එකම එක ප්‍රශ්ණයයි ප්‍රධානියාගෙන් ඇහුවේ. "සර් මට දුන්න ඇටේ වත් පැළ කර ගන්න බැරි වුණු මාව ඇයි මේ තනතුරට තේරුවේ" කියන එකයි. ඒකට ප්‍රධානියා දුන්න උත්තරය අහපු අනික් හැම විධායකයෙක්ම හිතා ගත්ත එක් දෙයක් තිබුණා.

"මම ඔය කාටත් දුන්නේ තම්බපු වී ඇට. තම්බපු වී ඇට පැල වෙන්නෙ නැහැ. නමුත් තමන් කරන දේ කැප වීමෙන් කරපු. තමන්ට බැරි වුණු දේ පිළිගන්න තරම් අවංක සහ නිහතමානී වුණ රුවන් තරම් වෙන කිසිම කෙනෙක් මේ තනතුරට ගැලපෙන්නේ නෑ"

මම හිතන්නෙ පාඩම ඒ වචන වලින්ම ඉගෙන ගන්න පුළුවන්.

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!